Showing posts with label ගමේ විත්ති. Show all posts
Showing posts with label ගමේ විත්ති. Show all posts

Wednesday, December 26, 2012

අවුරුදු අටකට කලින් අද වගේ දවසක


2004 දෙසැම්බර් 26 

මාතර අපි වගේම මුළු රටම මුහුණදුන් අදුරු දවසක් ,එදා අපි කවදාවත් අහලා නොතිබුණු කවදාවත් දැකලා නොතිබුණු මහා විනාශකාරී සුනාමි දල රල පෙළ අපේ රට වෙලා ගත්ත දවස ,එදා ඉරිදා දවසක් ,ඒ වගේම පසලොසවක පෝය ,ඒ කාලේ සමහර දවස්වලට මාතර beach road  එක කොහොමත් මුහුදු රලවලින් වැහෙනවා ,ඒකනිසා එදා කොටුවේගොඩ ඉරිදා පොලට ආපු අය මුලින් ආපු පොඩි රළපහර ගනන්ගන්න නැතුව ඇති ,

කොහොමුනත් එදා ආපු දල රලපෙල අපගේ සමීපතමයන් රැසක් අපගෙන් වෙන්කළා .එදිනට පසු දින සිට සතියක් පමණ යනතෙක් මම සහ මගේ ගමේ යහළුවන් රැසක් සහනසේවාවල ස්වේච්චාවෙන් නියුතු උනා ,ඒ සතිය තුල අත්දුටු අත්දැකීම් මිනිසෙකුට තම මුළු ජීවිත කාලයතුලදීම සමහරවිට ලබාගන්න බැරිතරම් කියලා මට  හිතෙනවා .
මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගැනීමට එවැනි අවස්ථාවක් මිනිසෙකුට තමන්ගේ ජීවිතයේදී නොලැබෙන්න පුළුවන් .

එදා සුනාමි රල පහරට ලංකාවේ දකුණු නැගෙනහිර සියලුම වෙරළාසන්න නගර විනාශ වුනත් මාතර නගරයේ කොටුවේගොඩ හැර නගරයේ අනෙත් කිසිදු පෙදෙසක් සුනාමි රල පහරට ගොදුරු වුනේ නැහැ ,ඒක ඔයාලට තේරුම්ගන්න ලේසිවෙන්න ඔන්න මම පහල පින්තුරය දානවා .
පැහැදිලි මදිනම් ටිකක් ලොකුකරලා බලන්නලා හොදේ.



මාතර නගරය හරහා ගලා යන නිල්වලා ගඟ තියෙන්නේ මාතර නගරයට වඩා ගොඩක් පහලින් ,ඒක නිසා මුහුද දෙසින් ආපු රල පහර කොටුවේගොඩ ප්‍රදේශය හරහා ඇවිත් කෙලින්ම නිල්වලා ගඟට වැටුනා ,එහෙම වැටුණු රල පහර ගඟ දිගේ ඉහලට සහ පහලට ගලාගෙන යාම් නිසා එහි රුදුරු බව අඩුවුනා ,ඒ වගේම ගඟ නගරයට වඩා පහලින් ඇතිනිසා මුහුදු රල ගඟෙන් මෙහාට ආවෙත් නැහැ .ඔන්න ඔහොමයි ගඟ නිසා මාතර නගරය බේරුනේ .

එදායින් අවුරුදු 8 ට පස්සේ අද වෙනකොට ගොඩක් දෙනෙකුට ගොඩක් දේවල් අමතකයි ,හැබැයි රටක් විදිහට අපේ රට ඉතිහාසයේ මුහුණදීපු ලොකුම ස්වබාවික විපතෙන් මේ තරම් ඉක්මනට නැගිටපු එක ගැන අපිට ශ්‍රී ලාංකිකයින් වශයෙන් සතුටුවෙන්න පුළුවන් .


මාතර සුනාමි ස්මාරකය 

මාතර අපි අතරින් වෙන්වුණු පිරිස වගේම පැරලියේදී සුනාමි දුම්රියේදී ජීවිත හැරදා ගිය අපේ සහෝදරයින් ,ඒ වගේම මේ විපතින් අපට අහිමිවුණු මුළු ශ්‍රී ලාංකික ජනතාවම සිහිකිරීම අපේ යුතුකමක් .හැබැයි ඒ අවුරුද්දකට සැරයක් දෙසැම්බර් 26 විතරක් නෙමෙයි .අපට පුළුවන් හැමවෙලාවකම .







Friday, November 30, 2012

අලුත් මාතර

ඔන්න කාලෙකට පස්සේ අද ගමේ ගියා ,ඒ යන ගමන් අලුත් උනු මාතර නගරේ ෆොටෝ කෑලි ටිකකුත් ගත්තා ,බයිසිකලේ යන ගමන් නිසාත් හවස නිසාත් ෆොටෝ වල පැහැදිලි කම මදි ,ඒ ගැන කමා කරත්වා ,දේශ දීපන්කරවල ඉන්න අපේ ඇත්තන්ට බලාගන්නත් එක්ක තමයි මේ ටික දාන්නේ .




නුපේ හන්දිය 


බ්‍රෝඩ්වේ පාර 


තේක්ක ගහ ගාව 
(@ සයුරි  - තේක්ක ගහනම් කපලා ඔන්න )


යෝදයගේ බයිසිකලේ 


 මහානාම පාලම 


මහානාම පාලම


මේක දැක්කගමන් මතක් උනේ මොකක්ද ?


මේක නේද?මේ නම් මාතර නෙමෙයි ,


මේ නම් මාතර වෙරල උද්‍යානය 


පරෙවි දූවේ පාලම 


පරෙවි දූව 


මාතර වෙරල උද්‍යානය 


වීදි ලාම්පු 


සුනාමි ස්මාරකය 


බ්‍රෝඩ්වේ ෆිල්ම් හෝල් එක (දැන්නම් කාර්ගිල්ස් එක වෙලා )

ගෙහුං එන්නං 

Saturday, November 17, 2012

පාන්දරින් ඉස්කෝලෙට බක්කි කරත්තෙන්



අද මං කියන්න යන්නේ මාතර අපි කාටත් හුරුපුරුදු දසුනක් වෙලා තිබිච්ච දැන් බේතකටවත් හොයාගන්න නැති බක්කි කරත්ත ගැනයි ,අපි පොඩි කාලේ නගරේ ඉස්කෝල ළග උදේටයි දවල්ටයි දකින්න තිබුණු සුලබ දසුනක් වන බක්කි කරත්ත දැන් සමාජයෙන් සැගවිලා ගිහින්

යටත් විජිත යුගයේදී මාතර ඇරබුනු රාහුල ,සුජාතා ,ශාන්ත තෝමස් ,ශාන්ත සෙර්වේසස්,මාතර කන්‍යාරාමය වගේම ඉන් පසුකාලීනව ඇතිවුණු මධ්‍ය මහා විදුහල ,මහාමායා විදුහල වැනි පාසල් වලටත් ළමුන් ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් අනුව දශකයේ මැදක් වනතුරුම මෙම බක්කි කරත්ත පැවතුනා ,

බොහෝ දුරට මෙම බක්කි කරත්ත ළමුන් බාරගත්තේ එක පාසලකට එන ළමුන් පමණයි ,මොකද පාසල් දෙකක් අතර යාමට වැයවන කාලය වැඩි නිසා ,ඒත් රාහුල ,සුජාතා පාසල් එකිනෙක ළග පිහිටා තිබීම නිසා එම පාසල්වල සිසුන් එකම බක්කි කරත්තවල ගෙනගොස් අරලීමටත් බාරගනු  ලැබුවා ,

විශේෂයෙන්ම මෙලෙස බාරගත්තේ ප්‍රාථමික පන්තිවල සිසුන් වූ අතර එයට හේතු වන්නට ඇත්තේ බක්කි කරත්තයේ තිබුණු කුඩා ඉඩකඩ ඇතුලත ගෙනයාහැකි උපරිම ප්‍රමාණයක් ගෙන යාම වියහැකියි ,එමෙන්ම ඉහල පන්තිවල සිසුන් බක්කි කරත්තෙන් පාසල් යෑමට දැක්වූ අකමැත්තත් වියහැකියි ,

මෙලෙස ගෙවල් වලින් බාරගත් සිසුන් පාසැල ලගට ඇරලීමට යාමේදී සමහර බක්කි කරත්ත රියදුරන් එම ළමුන්ගේ පාසල් බෑග,වතුර බෝතල් පන්තියටම ගෙනගොස් දෙනවා ,පාසැල ඇරෙන වෙලාවට ගේට්ටුව ගාව ඉදගෙන තමන්ගේ ළමුන් එකතු කරන බක්කි කරත්ත රියදුරන් දකින්නට හැකියි ,

ළමුන් පාසලට ඇරලු පසු තමන්ගේ බක්කි කරත්තයේ බැද සිටින ගොනාට ආහාර සැපයීමටත් එකිනෙකා සමග සතුටු සාමීචියේ යෙදීමටත් 
බක්කි කරත්ත රියදුරන් තෝරාගත් තැන් තිබුනා ,මාතර රාහුල පාර ,ඉසදීන් නගරය අවට එවැනි තැන් කීපයක් ,මේ බක්කි කරත්ත අතර ලස්සන ලෙස සරසා තිබු බක්කි කරත්තත් තිබුනා , ඒ විතරක්ද සමහර ඒවායේ පොඩි රේඩියෝවක් පවා තිබුනා ,

අනුව දශකයේ අග බාගයේ ඇතිවූ වාහන තදබදයේ ඉහල යාමත් ,සිසුන් බක්කි කරත්තවල යෑමට දැක්වූ මැලිකමත් මේ ඔක්කොටම වඩා ඉහල ගිය පාසල් වෑන් ගණනත් නිසා කෙමෙන් කෙමෙන් මේ බක්කි කරත්ත සමාජයෙන් තුරන් වෙලා ගියා ,දැන් ඉතින් ළමයෙකුට බක්කි කරත්තයක් දකින්න තියෙන්නේ රූපෙකින් හරි කෞතුකාගාරෙකින් හරි විතරයි ,

චායාරූප ගත්තේ - http://lankapura.com

Thursday, November 15, 2012

මාතර බත් කඩේ


අදනම් ටිකක් වෙනස් මාතෘකාවක් ,මාතර බත් කඩයක් දැකලා නැත්තේ කවුද ?කවුරුත් වගේ දැකලා ඇතිනේ , අර කවුද කියන්න වගේ හඳට යනකොට එහෙත් එකක් දාල තිබුනයි කියනවනේ  ,හැබැයි කොහේ තිබුනත් මාතර බත් කඩයක් නැති එක ටවුමක් නම් මේ ලංකාවේ තියෙනවා මං දන්නා තරමින් ,කියමුද බලන්න .........

දන්නැත්නම් දැනගන්න ඒ තමයි මාතර .....ඇත්තයි සත්තයි 

ඇත්තටම රටපුරා මාතර බත් කඩ ඇතිවීමේ ප්‍රවනතාවය ඇතිවුනේ කොහොමද කියලා අපි හොයලා බැලුවොත් ඒකට හේතු උනේ පහත හේතුවයි කියලා මං හිතනවා ,

මාතර උපන් පුද්ගලයින් රැකියාවල් සොයාගෙන යාම නිසා රට පුරා පැතිරුනා ,ඉතින් මෙහෙම ගමින් පිට උණු අය ඇරඹු කෑම කඩ වල ඔවුන් බොහෝවිට පිළිගැන්වූයේ තම ගම් ප්‍රදේශයේ කෑම වගේම ගමේ පිළිවෙලට සැකසු කෑම වර්ගයි,මොකද බොහෝ වෙලාවට මේ කෑම පිළියෙළ කලේ කඩේ මුදලාලිගේ මාය්යා නිසයි ,ඉතින් මෙහෙම කඩ ඔය බෝඩ් ලෑලි නොගැහව්වට නිකම්ම "මාතර බත් කඩ" උනා ,

මේ මාතර බත් කඩවල තිබුණු කෑම මොනවද ...

අනිවාර්යෙන්ම මේවා නම් තිබුනා 


රතු කැකුළු බත 


මාළු ඇඹුල්තියල් 

පොලොස්

පොල් සම්බල

දැන්නම් රට පුරා මාතර බත් කඩ , ඒ වුනාට ඒවා කීයෙන් කීයද නියම මාතර බත් කඩ වෙන්නේ ,

ගිහින් එන්නම් ,

ප ලි : අදනම් සුදානම් වෙලා දාපු පොස්ට් එකක් නෙමේ ,අඩු පාඩු ඇතොත් කමා කරනු මැනවි


Monday, November 12, 2012

මාතර අපි කාගේත් සුන්දරී - රුහුණු කුමාරි

මේක කියවන ඔහෙලා මාතරනම් ජීවිතේ එකපාරක් හරි රුහුණු කුමාරි එකේ ගිහින් ඇති ,ඒක ඒ තරම්ම මාතර ජනතාවගේ ජීවිතත් එක්ක බැදිලා තියෙන්නේ ,සමහර අය උදේට ඇහැරෙන්නෙත් රුහුණු කුමාරිගේ හූවට ,හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි ඩී බී රම්පාල මහතාගේ අදහසක් අනුව නම් පටබැදුනු රුහුණු කුමාරි මේ වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දිගම දුම්රිය වෙනවා ,රුහුණු කුමාරි තමන්ගේ මංගල ගමන සිදුකරේ 1956 අප්‍රියෙල් මස 23 වෙනිදා උඩරට මැණිකේ සහ යාල් දේවි නම් ඇගේ සහෝදරියන් සමග එක්වයි ,මෙන්න ඒක ගැන පත්තරේ ගිය දැන්වීමක්



ඔන්න ඔය කාලේ මාතර ඉස්ටේසමේ පින්තුර ටිකකුත්


 



මාතර කොච්චි ඉස්ටේසම 

මාතර කොච්චි ඉස්ටේසම 


මාතර කොච්චි ඉස්ටේසම 

ඉස්සර උදේ 5.30 මාතරින් ගමන ආරම්බ කරපු කුමාරි කොටුවට එනකොට උදේ 9.45 විටර උනා ,මුල් කාලේ ඉදලම එන්ජිමක් මගින් ඇදගෙන ගිය කොච්චි පෙට්ටිවලින් සමන්විත් උණු මෙයා දැන් බලවේග කට්ටල දෙකක පිහිටෙන් ඉගිලෙනවා,නවීකරණ කරපු දුම්රිය පාරත් ඒකට උදවු වෙනවා ,දැන් මාතර ඉන්න කොළඹ වැඩකරන ගොඩදෙනෙක් ගෙදර ඉදලම වැඩට එනවා මේ නිසා,දැන් උදේ 6.05 ට මාතරින් පිටත්වෙන කුමාරි උදේ 8.45 වෙනකොට කොටුවට එනවා ,ඔන්න බලාගන්න දැන් කුමාරිගේ දිගේ තරම 




හැබැයි දැන් අපි පොඩි කාලේ ආසාවෙන් බලන හිටපු දෙයක් නම් තවදුරටත් දැන් පොඩි බබාලට දකින්න ලැබෙන්නේ නෑ,ඒ තමයි ගාල්ලේදී එන්ජිම ගලවලා හයිකරන ඒක ,දැන් ඉතින් දෙපැත්තටම එන්ජින් නිසා 
ඒක තවදුරටත් වලංගු නැහැ ,

අදට ඉතින් ඔච්චරයි ,අපේ යාලුවොන්ට රුහුණු කුමාරි සමග බැදුණු රසවත් මතකයන් ඇත්නම් සදහන්කරන මෙන් ඉල්ලා සිටිනවා ,

ගිහින් එන්නම් 

Tuesday, November 6, 2012

මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා
තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා

ඕනෑම ශිෂ්ටාචාරයක මුලික පදනම වෙන්නේ ජල මුලාශ්‍රයක්නේ ,ඉතින් මාතර ශිෂ්ටාචාරයේ පදනම වෙන්නේ නිල්වලා ගඟයි ,රක්වාන කදුවැටියෙන් පටන් ගෙන දිගු දුර ගෙවා මාතර නගරය ආසන්නයෙන් මුහුදට එකතුවෙන නිල්වලා ගැන කොමලිය මාතර ජීවන නාලිකාව ලෙස හැදින්වුවොත් වරදක් නැහැ ,

ඇත්තටම නිල්වලා ගඟේ දකින්න තියෙන විශේෂත්වයක් තමයි ගඟ අවසාන හරියේදී ගඟ දෙපසට වඩා බොහෝ තැන් වලදී උසින් පිහිටීම මේ නිසා ගංවතුර අවස්ථාවකදී ගංවතුර ලෙහෙසියෙන් බැසනොයාමත් වඩදිය අවස්ථාවලදී කරදිය ගඟේ බොහෝ ඉහලට පැමිණීමත් දකින්න පුළුවන් ,

නිල්වලා ගඟ සමග සබැදුනු ගංගා රෝහණ පුජාවත් මාතරටම ආවේනික වූ දෙයක් ලෙසටත් හදුන්වන්න පුළුවන් ,ඒ ගැන ඉදිරියේදී තොරතුරු වෙනම පොස්ට් එකකින් ගෙනෙන්නත් බලාපොරොත්තු වෙනවා ,

හරි ඔන්න දැන් එන්න හදන්නේ වර්තමාන මාර්තෘකාවට

නිල්වළා ගඟේ කිඹුල්ලු 



නිල්වළා ගඟ ගැන දැන් අන්තර්ජාලයේ සර්ච් එකක් දැම්මත් දැන් එන්නේ මෙයාලගේ වැඩ ගැන විතරයි ,
ඇයි මෙහෙම තත්වයක් උදාවුනේ ?
කිඹුල්ලු ඉන්නේ නිල්වළා ගඟේ විතරද? නෑ
එහෙනං

ඇත්තටම මෙහෙම තත්වයක් උදාවීමට හේතුව ගොඩක් දෙනෙක් නොදන්නා දෙයක් ,ඔයාලා අහල ඇතිනේ කිරලකලේ ගැන ,දන්නැති අය දැනගන්න එක නිල්වළා ගඟ නිම්නයේ තියෙන ස්වබාවික වගුරු බිමක් ,දේශීය ඉංජිනේරුවන්ගේ අදහස් ඉවතලා ක්‍රියාවට නැංවූ අසාර්ථක නිල්වළා ව්‍යාපාරය යටතේ මුලික අරමුණ වුනේ ගංවතුර වැලැක්වීමයි ,ඒ යටතේ අලුතින් තනන ලද ඇළ මාර්ග මගින් කිරලකලේ වගුරු බිමේත් ජලය පොම්පාගාර මගින් ඇද ගගට දමනු ලැබුවා ,


ඉතින් මේ මගින් තමන්ගේ ස්වබාවික වාසභූමි අහිමි වුනු කිඹුලන් ගඟට එකතු උනා ,ඔන්න ඔහොමයි කතාව පටන් ගත්තේ ,මේ මගින් ගඟේ කිඹුල් ගහනය අසාමාන්‍ය ලෙස ඉහල ගියා ,

අපි දන්නවනේ ඕනෑම සතෙකුට තමන්ට අයිති වාසබූමියක් තියෙනවා කියලා ,හොදම උදාහරණයක් තමයි ලංකාවේ අලි මිනිස් ගැටුම ,මෙතනත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක් ,මිනිසුන් කිඹුලන්ගේ වාස භූමිය ආක්‍රමණය කිරීමක් ,නැතුව කිඹුලන් සාහසික වීමක් නොවෙයි ,

නිල්වළා ගඟ මිටියාවතේ ජීවත් වෙන කෙනෙක් හැටියට මන් මේ කියන්නේ අත්දැකීමෙන් ,ඉස්සර අපි පොඩි කාලේ අපි ගඟේ නෑවා,හැබැයි ඔය කිඹුල් කොටු ඇතුලට වෙලානම් නෙමෙයි,මොකද අපි ඒ කාලේ දැනගෙන හිටියා කිඹුලාගේ අඩවියේ සීමා මායිම්,අපි කිඹුලාගේ අඩවියට නොගියා වාගේම කිඹුලා අපේ අඩවියට ආවෙත් නැහැ ,

අදටත් ඔයාලට පුලුවන්නම් නිල්වලා ගඟ දෙපස පිහිටි ගමක වැඩිහිටියෙක්ගෙන් අහලා බලන්න ,ඔහු හෝ ඇය කියාවි දවසේ වෙලාව අනුව කිඹුලා රැදෙන තැන් ,කිඹුල් උවදුර ඉහල යාමට තවත් හේතුවක් තමයි උන්ගේ ගහනය ඉහල යාම නිසා කෑම පිලිබඳ ඇතිවී තිබෙන ගැටලුව ,ගඟ දෙපස ජනාවාස වීම නිසා ගගට පැමිණෙන සතුන් ප්‍රමාණය අඩුවීම මත අලුත් සහ පහසු ගොදුරු සොයායාමට කිඹුලන් පෙළඹී තියෙනවා ,කිඹුලන්ගේ වාසස්ථාන අහිමි වීම නිසා දැන් දැන් අමුතු සිද්දි පවා දකින්න ලැබෙනවා ,


ඇත්තටම  මේ කිඹුලා මුහුදට යන්න හේතුවෙන්න ඇත්තෙත් ඒ වගේ දෙයක් ,මීට අවරුදු ගානකට කලින් තිබුණු නිල්වළා ගඟ නෙමෙයි දැන් දකින්න තියෙන්නේ ,ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ ගැටලුවට වරදකාරයින් අපිම බවත් ඒකට විසදුම තියෙන්නේ අපි සතුව බවත්ය .

ස්තුතියි ,

ප . ලි .රසවත් කිඹුල් කතා මතකයේ ඇත,ටික ටික ගෙනහැර පාමි ,මේ දවස්වල ටිකක් ගමෙන් පිට නිසා චායාරූප ලබාගත්තේ ජාලයෙනි ,ගමට නැවත ගිය පසු හොද හොද වැඩ ටිකක් දෙන්නම්