Wednesday, December 26, 2012

අවුරුදු අටකට කලින් අද වගේ දවසක


2004 දෙසැම්බර් 26 

මාතර අපි වගේම මුළු රටම මුහුණදුන් අදුරු දවසක් ,එදා අපි කවදාවත් අහලා නොතිබුණු කවදාවත් දැකලා නොතිබුණු මහා විනාශකාරී සුනාමි දල රල පෙළ අපේ රට වෙලා ගත්ත දවස ,එදා ඉරිදා දවසක් ,ඒ වගේම පසලොසවක පෝය ,ඒ කාලේ සමහර දවස්වලට මාතර beach road  එක කොහොමත් මුහුදු රලවලින් වැහෙනවා ,ඒකනිසා එදා කොටුවේගොඩ ඉරිදා පොලට ආපු අය මුලින් ආපු පොඩි රළපහර ගනන්ගන්න නැතුව ඇති ,

කොහොමුනත් එදා ආපු දල රලපෙල අපගේ සමීපතමයන් රැසක් අපගෙන් වෙන්කළා .එදිනට පසු දින සිට සතියක් පමණ යනතෙක් මම සහ මගේ ගමේ යහළුවන් රැසක් සහනසේවාවල ස්වේච්චාවෙන් නියුතු උනා ,ඒ සතිය තුල අත්දුටු අත්දැකීම් මිනිසෙකුට තම මුළු ජීවිත කාලයතුලදීම සමහරවිට ලබාගන්න බැරිතරම් කියලා මට  හිතෙනවා .
මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගැනීමට එවැනි අවස්ථාවක් මිනිසෙකුට තමන්ගේ ජීවිතයේදී නොලැබෙන්න පුළුවන් .

එදා සුනාමි රල පහරට ලංකාවේ දකුණු නැගෙනහිර සියලුම වෙරළාසන්න නගර විනාශ වුනත් මාතර නගරයේ කොටුවේගොඩ හැර නගරයේ අනෙත් කිසිදු පෙදෙසක් සුනාමි රල පහරට ගොදුරු වුනේ නැහැ ,ඒක ඔයාලට තේරුම්ගන්න ලේසිවෙන්න ඔන්න මම පහල පින්තුරය දානවා .
පැහැදිලි මදිනම් ටිකක් ලොකුකරලා බලන්නලා හොදේ.



මාතර නගරය හරහා ගලා යන නිල්වලා ගඟ තියෙන්නේ මාතර නගරයට වඩා ගොඩක් පහලින් ,ඒක නිසා මුහුද දෙසින් ආපු රල පහර කොටුවේගොඩ ප්‍රදේශය හරහා ඇවිත් කෙලින්ම නිල්වලා ගඟට වැටුනා ,එහෙම වැටුණු රල පහර ගඟ දිගේ ඉහලට සහ පහලට ගලාගෙන යාම් නිසා එහි රුදුරු බව අඩුවුනා ,ඒ වගේම ගඟ නගරයට වඩා පහලින් ඇතිනිසා මුහුදු රල ගඟෙන් මෙහාට ආවෙත් නැහැ .ඔන්න ඔහොමයි ගඟ නිසා මාතර නගරය බේරුනේ .

එදායින් අවුරුදු 8 ට පස්සේ අද වෙනකොට ගොඩක් දෙනෙකුට ගොඩක් දේවල් අමතකයි ,හැබැයි රටක් විදිහට අපේ රට ඉතිහාසයේ මුහුණදීපු ලොකුම ස්වබාවික විපතෙන් මේ තරම් ඉක්මනට නැගිටපු එක ගැන අපිට ශ්‍රී ලාංකිකයින් වශයෙන් සතුටුවෙන්න පුළුවන් .


මාතර සුනාමි ස්මාරකය 

මාතර අපි අතරින් වෙන්වුණු පිරිස වගේම පැරලියේදී සුනාමි දුම්රියේදී ජීවිත හැරදා ගිය අපේ සහෝදරයින් ,ඒ වගේම මේ විපතින් අපට අහිමිවුණු මුළු ශ්‍රී ලාංකික ජනතාවම සිහිකිරීම අපේ යුතුකමක් .හැබැයි ඒ අවුරුද්දකට සැරයක් දෙසැම්බර් 26 විතරක් නෙමෙයි .අපට පුළුවන් හැමවෙලාවකම .







Thursday, December 20, 2012

කෙටි විරාමයක්


මේ දිනවල වැඩ අධික කම නිසාම එක පොස්ට් එකක්වත් දාන්න බැරි උනා ,බාගෙට ලියූ පොස්ට් දෙක තුනක්ම තිබුනත් එකක්වත් පළකරගන්න බැරි උනා ,

මේ පොස්ට් එක දාන්නේ බ්ලොග් එක අතහැර නැති බවත් ඉසිබුවක්‌ ලද විගස මාතර පිළිබද තව තවත් විස්තර ගෙන එන බවත් ඔබට දන්වන්නටයි .

ගෙහුං එන්නං 

Friday, November 30, 2012

අලුත් මාතර

ඔන්න කාලෙකට පස්සේ අද ගමේ ගියා ,ඒ යන ගමන් අලුත් උනු මාතර නගරේ ෆොටෝ කෑලි ටිකකුත් ගත්තා ,බයිසිකලේ යන ගමන් නිසාත් හවස නිසාත් ෆොටෝ වල පැහැදිලි කම මදි ,ඒ ගැන කමා කරත්වා ,දේශ දීපන්කරවල ඉන්න අපේ ඇත්තන්ට බලාගන්නත් එක්ක තමයි මේ ටික දාන්නේ .




නුපේ හන්දිය 


බ්‍රෝඩ්වේ පාර 


තේක්ක ගහ ගාව 
(@ සයුරි  - තේක්ක ගහනම් කපලා ඔන්න )


යෝදයගේ බයිසිකලේ 


 මහානාම පාලම 


මහානාම පාලම


මේක දැක්කගමන් මතක් උනේ මොකක්ද ?


මේක නේද?මේ නම් මාතර නෙමෙයි ,


මේ නම් මාතර වෙරල උද්‍යානය 


පරෙවි දූවේ පාලම 


පරෙවි දූව 


මාතර වෙරල උද්‍යානය 


වීදි ලාම්පු 


සුනාමි ස්මාරකය 


බ්‍රෝඩ්වේ ෆිල්ම් හෝල් එක (දැන්නම් කාර්ගිල්ස් එක වෙලා )

ගෙහුං එන්නං 

Saturday, November 17, 2012

පාන්දරින් ඉස්කෝලෙට බක්කි කරත්තෙන්



අද මං කියන්න යන්නේ මාතර අපි කාටත් හුරුපුරුදු දසුනක් වෙලා තිබිච්ච දැන් බේතකටවත් හොයාගන්න නැති බක්කි කරත්ත ගැනයි ,අපි පොඩි කාලේ නගරේ ඉස්කෝල ළග උදේටයි දවල්ටයි දකින්න තිබුණු සුලබ දසුනක් වන බක්කි කරත්ත දැන් සමාජයෙන් සැගවිලා ගිහින්

යටත් විජිත යුගයේදී මාතර ඇරබුනු රාහුල ,සුජාතා ,ශාන්ත තෝමස් ,ශාන්ත සෙර්වේසස්,මාතර කන්‍යාරාමය වගේම ඉන් පසුකාලීනව ඇතිවුණු මධ්‍ය මහා විදුහල ,මහාමායා විදුහල වැනි පාසල් වලටත් ළමුන් ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් අනුව දශකයේ මැදක් වනතුරුම මෙම බක්කි කරත්ත පැවතුනා ,

බොහෝ දුරට මෙම බක්කි කරත්ත ළමුන් බාරගත්තේ එක පාසලකට එන ළමුන් පමණයි ,මොකද පාසල් දෙකක් අතර යාමට වැයවන කාලය වැඩි නිසා ,ඒත් රාහුල ,සුජාතා පාසල් එකිනෙක ළග පිහිටා තිබීම නිසා එම පාසල්වල සිසුන් එකම බක්කි කරත්තවල ගෙනගොස් අරලීමටත් බාරගනු  ලැබුවා ,

විශේෂයෙන්ම මෙලෙස බාරගත්තේ ප්‍රාථමික පන්තිවල සිසුන් වූ අතර එයට හේතු වන්නට ඇත්තේ බක්කි කරත්තයේ තිබුණු කුඩා ඉඩකඩ ඇතුලත ගෙනයාහැකි උපරිම ප්‍රමාණයක් ගෙන යාම වියහැකියි ,එමෙන්ම ඉහල පන්තිවල සිසුන් බක්කි කරත්තෙන් පාසල් යෑමට දැක්වූ අකමැත්තත් වියහැකියි ,

මෙලෙස ගෙවල් වලින් බාරගත් සිසුන් පාසැල ලගට ඇරලීමට යාමේදී සමහර බක්කි කරත්ත රියදුරන් එම ළමුන්ගේ පාසල් බෑග,වතුර බෝතල් පන්තියටම ගෙනගොස් දෙනවා ,පාසැල ඇරෙන වෙලාවට ගේට්ටුව ගාව ඉදගෙන තමන්ගේ ළමුන් එකතු කරන බක්කි කරත්ත රියදුරන් දකින්නට හැකියි ,

ළමුන් පාසලට ඇරලු පසු තමන්ගේ බක්කි කරත්තයේ බැද සිටින ගොනාට ආහාර සැපයීමටත් එකිනෙකා සමග සතුටු සාමීචියේ යෙදීමටත් 
බක්කි කරත්ත රියදුරන් තෝරාගත් තැන් තිබුනා ,මාතර රාහුල පාර ,ඉසදීන් නගරය අවට එවැනි තැන් කීපයක් ,මේ බක්කි කරත්ත අතර ලස්සන ලෙස සරසා තිබු බක්කි කරත්තත් තිබුනා , ඒ විතරක්ද සමහර ඒවායේ පොඩි රේඩියෝවක් පවා තිබුනා ,

අනුව දශකයේ අග බාගයේ ඇතිවූ වාහන තදබදයේ ඉහල යාමත් ,සිසුන් බක්කි කරත්තවල යෑමට දැක්වූ මැලිකමත් මේ ඔක්කොටම වඩා ඉහල ගිය පාසල් වෑන් ගණනත් නිසා කෙමෙන් කෙමෙන් මේ බක්කි කරත්ත සමාජයෙන් තුරන් වෙලා ගියා ,දැන් ඉතින් ළමයෙකුට බක්කි කරත්තයක් දකින්න තියෙන්නේ රූපෙකින් හරි කෞතුකාගාරෙකින් හරි විතරයි ,

චායාරූප ගත්තේ - http://lankapura.com

Thursday, November 15, 2012

මාතර බත් කඩේ


අදනම් ටිකක් වෙනස් මාතෘකාවක් ,මාතර බත් කඩයක් දැකලා නැත්තේ කවුද ?කවුරුත් වගේ දැකලා ඇතිනේ , අර කවුද කියන්න වගේ හඳට යනකොට එහෙත් එකක් දාල තිබුනයි කියනවනේ  ,හැබැයි කොහේ තිබුනත් මාතර බත් කඩයක් නැති එක ටවුමක් නම් මේ ලංකාවේ තියෙනවා මං දන්නා තරමින් ,කියමුද බලන්න .........

දන්නැත්නම් දැනගන්න ඒ තමයි මාතර .....ඇත්තයි සත්තයි 

ඇත්තටම රටපුරා මාතර බත් කඩ ඇතිවීමේ ප්‍රවනතාවය ඇතිවුනේ කොහොමද කියලා අපි හොයලා බැලුවොත් ඒකට හේතු උනේ පහත හේතුවයි කියලා මං හිතනවා ,

මාතර උපන් පුද්ගලයින් රැකියාවල් සොයාගෙන යාම නිසා රට පුරා පැතිරුනා ,ඉතින් මෙහෙම ගමින් පිට උණු අය ඇරඹු කෑම කඩ වල ඔවුන් බොහෝවිට පිළිගැන්වූයේ තම ගම් ප්‍රදේශයේ කෑම වගේම ගමේ පිළිවෙලට සැකසු කෑම වර්ගයි,මොකද බොහෝ වෙලාවට මේ කෑම පිළියෙළ කලේ කඩේ මුදලාලිගේ මාය්යා නිසයි ,ඉතින් මෙහෙම කඩ ඔය බෝඩ් ලෑලි නොගැහව්වට නිකම්ම "මාතර බත් කඩ" උනා ,

මේ මාතර බත් කඩවල තිබුණු කෑම මොනවද ...

අනිවාර්යෙන්ම මේවා නම් තිබුනා 


රතු කැකුළු බත 


මාළු ඇඹුල්තියල් 

පොලොස්

පොල් සම්බල

දැන්නම් රට පුරා මාතර බත් කඩ , ඒ වුනාට ඒවා කීයෙන් කීයද නියම මාතර බත් කඩ වෙන්නේ ,

ගිහින් එන්නම් ,

ප ලි : අදනම් සුදානම් වෙලා දාපු පොස්ට් එකක් නෙමේ ,අඩු පාඩු ඇතොත් කමා කරනු මැනවි


Wednesday, November 14, 2012

සුල්තානගොඩ කළු මහත්තයා - මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 02

මාතෘකාව දැක්ක ගමන් කාටවත් ක්ලික් වෙන්න නැතුව ඇති මං අද මේ කවුරු ගැන කියන්න යනවද කියලා ,අද මං කියන්න යන්නේ සුල්තානගොඩ කළු මහත්තයා නොහොත් හේවා කොමනගේ ධර්මදාස මහත්තයා ගැනයි ,ම්හු .. ඒත් මතක වෙන්නේ නෑ නේද ? එහෙනම් මෙහෙම කියමු ,එච් .කේ .ධර්මදාස නොහොත් " නවලෝක මුදලාලි ",ආ.... දැන්නම් කවුරුත් දන්නවා නේද ,හරි හරි දැන් ඔය ඇරිලා තියෙන කට වහගෙන ඉතුරු ටික කියෝමු .



මේ ඉන්නේ අපේ කාලයේ චුල්ල සෙට්ටි සිටුතුමා කිව්වොත් වැරදි නැහැ 

1920 ජුනි මස 20 වෙනිදින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලයි ,ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මෙතුමා පසුකාලීනව කෙතරම් ඉහලට ගියත් එම ගැමිසුවදනම් අමතක කලේ නෑ ,




සුල්තානගොඩ නිවස වර්තමාන ස්වරූපය 

කළු මහත්තයාට වයස 13 ක් වෙනකොට සිද්ද උණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය වෙනවා ,පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇදුම් කඩමාලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා ,

කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සදලන්කාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා ,නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා ,

මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හදුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට ,එහිදී ඔහු තමන්ගේ වෙළදාම ඇරඹීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි ,පසුකාලේයෙදී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියලුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි ,

මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරාගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි ,මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා ,



විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ ,කළු මහත්තයා තමන්ගේ තේ , පොල් , රබර් වෙළදාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා ,මේ කාලෙදී තමන්ගේ වෙළදාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙලදාමටත් අත තබනවා ,කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ  ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකග නොවන නිසයි ,මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය "නවලෝක" නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා ,

මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවුර්ත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා , එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා ,

විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු  සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්‍යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ද කරගන්නවා ,හැබැයි ඒ ඉහලම තැනින් නම් නෙමෙයි ,පහලම තැන ඉදලා ඉහලට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා ,




පහේ පන්තිය දක්වා පමණක් අද්‍යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහලට නැග්ග ආකාරය පුදුම සහගතයි ,පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු උණු කරුණු දැක්වුවා ,එනම් මුල අමතක නොකිරීම, "නෑ" , "බෑ" උත්තර ලෙස බාරනොගැනීම,ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම ,අපතේ යාම නැවතීම සහ අද කලයුතුදේ අදම කිරීමයි ,

අදවනවිට ලංකාවේ ලොකුම සමුහ ව්‍යාපාරයක් වන නවලෝක ව්‍යාපාරයේ කටයුතු තමන්ගේ අවසන් කාලය දක්වාම තමන් යටතේ පවත්වාගත් මෙතුමා සාම දිනකම උදෑසන 10.15 සිට හවස 5.00 වනතෙක් තමන්ගේ කාර්යාලයේ රැදී සිටියා ,නැගී එන ව්‍යාපාරිකයින්ට කළමනාකරණ පොත් දහසකින්වත් ලබාගත නොහැකි ගුණාංග මෙතුමාගේ ජීවිතය අද්යයනය කිරීමෙන් ලබාගත හැකියි ,

දේශමාන්‍ය ගරු නාමයෙන් පුද ලද මෙතුමා 2011 අගෝස්තු මස 10 වෙනිදා දැයෙන් සමුගත්තා ,

Tuesday, November 13, 2012

මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 01 - දොන් කරෝලිස් අප්පුහාමි මහතා

ඔන්න අද අලුත් වැඩකට අත ගහනවා ,මේ ලිපි පෙලින් බලාපොරොත්තු වෙන්නේ මාතර ජන්ම භූමිය උන මේ වෙනකොට ලෝකෙම දන්නා අය බවට පත්වුණු අය ගැන ඔබ නොදන්නා  විස්තර ගෙන ඒමයි ,

ඉතින් අද හා හා පුරා කියලා විස්තර ගෙන එන්නේ අභිමානවත් මාතර පුත්‍රයෙක් ගැන ,එතුමා තමයි දොන් කරෝලිස් අප්පුහාමි මහතා නැත්නම් දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා ,


1833 මාතර මැද හිත්තැටිය ගමේ පොකුනුවත්තේ උපත ලබන මෙතුමාගේ පියා වෙන්නේ හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමි මහතායි ,හිත්තැටිය රජ මහා විහාරය ඇසුරේ හැදී වැඩෙන මෙතුමා ජෝතිෂය පිලිබදව ඉගෙන ගන්නවා ,තමන් ඉගෙන ගන්නා ශාස්ත්‍රය අනුව සහ ගුරු හාමුදුරුවන්ගේ උපදෙස් අනුව තමන්ගේ ජය භූමිය සොයා කොළඹට එනවා ,

කොළඹදී ව්‍යාපාරික කටයුතු අරබන මෙතුමා 1860 දී කොළඹ ව්‍යාපාරික මහතෙකු වන ලන්සිගේ අන්දිරිස් පෙරේරා ධර්මගුනවර්ධන මහතාගේ දුවණිය වන මල්ලිකා ධර්මගුනවර්ධන මෙනවිය සමග විවාපත් වෙනවා ,



කොළඹ පිටකොටුවේ H.DON KAROLIS නමින් ගෘහ භාණ්ඩ වෙලදසැලක් අරබනවා ,මෙම භාණ්ඩ වල තිබූ උසස් නිමාව නිසා ලෝක ප්‍රසිද්ද තත්වයට පත්වෙනවා ,

තේ අපනයන හැරුණු කොට වෙනත් දෙයක් ගැන සිතීමටවත් බැරිඋනු 1886 තරම් ඈත යුගයකදී ඔස්ට්‍රේලියාවට ගෘහ භාණ්ඩ අපනයන කිරීමට මේ වනවිට H.DON KAROLIS & SONS නමින් පැවතුනු මෙම ආයතනය සමත් වෙනවා ,

1895 දී ලන්ඩන් නගරයේ අරඹන ව්‍යාපාරික ස්ථානය මගින් දකුණු අප්‍රිකාවට ,ඉන්දියාවට , බුරුමයට ,යුරෝපයට සහ ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කටයුතු පටන්ගන්නවා ,මෙම කාලෙයේදීම කොළඹ පටන් ගන්නා වාෂ්ප මගින් ගෘහ භාණ්ඩ නිපදවීම ඉතා ජනප්‍රිය වෙනවා ,



20 වන සතවර්ෂයේ මුල් කාලයේදී ලෝකය පුරා පවත්වන ගෘහ භාණ්ඩ ප්‍රදර්ශන වලදී සම්මාන දිනාගන්නත් මෙම සමාගම සමත් වෙනවා ,එහි ප්‍රතිපලයක් විදිහට එංගලන්තය ඇතුළු යුරෝපාකරයේ රජ පවුල් වල භාවිතය සදහා මෙම භාණ්ඩ ලබාගැනීමට ඔවුන් කටයුතු කරනවා .



මෙම කාලයෙදී හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ප්‍රදානත්වයෙන් රටපුරා පැනනගින බොදු පුනර්ජීවනයේ මුලිකත්වය ගන්නා මෙතුමා වෙසක් නිවාඩුව සහ බෞද්ධ ධජය  නිර්මානයේදීත් මුල් වී කටයුතු කරනවා ,එමෙන්ම මාතර හිත්තැටිය රජමහා විහාරය ඇතුළු විශාල විහාර ගණනක් ගොඩනන්වන්නත් මෙතුමා තමන්ගේ ධනය නිර්ලෝභීව යොදවනවා .

පුතුන් 4 දෙනෙකුගේ සහ එක දියණියකගේ පියා වන මෙතුමාගේ පුතුන් දෙදෙනෙක් පියාගේ වෙළද ව්‍යාපාර භාරව කටයුතු කරනවා ,වඩාත් ප්‍රසිද්ද වන අනෙත් පුතුන් දෙදෙනා තමයි දොන් ඩේවිඩ් හේවාවිතාරණ සහ දොස්තර චාල්ස් අල්විස් හේවාවිතාරණ,මෙයින් දොස්තර සී ඒ හේවාවිතාරණ මහතා නිදහස් සටනේ පුරෝගාමියෙකු වෙනවා ,දොන් ඩේවිඩ් හේවාවිතාරණ නොහොත් දෙටු පුත්‍රයා ලෝකප්‍රසිද්ද වෙන්නේ අනගාරික ධර්මපාල නමින්,



එමෙන්ම මෙතුමාගේ බෑනා වන කුමාරදාස් මුණසිංහ මහතා තමයි අලියා ගිනි පෙට්ටි සමාගම පටන්ගන්නේ ,මෙලෙස රටටත් ජාතියටත් අමිල සේවයක් කල මෙතුමා 1906 පෙබරවාරි මස 18 වෙනිදා දැයෙන් සමුගත්තා ,

තොරතුරු සහ චායාරූප අන්තර්ජාලයෙනි .

නිවාඩුවට travel එකක් - මාතර නගරය අවට

ඔන්න අද මං ඔහෙලට ගේන්නේ ඔහෙලා මාතර එනවනම් හරි නැත්නම් මාතර පහුකරගෙන කොහෙහරි යනවනම් හරි යන එන ගමන් බලන්න යන්න පුළුවන් තැන් ටිකක් ගැන විස්තර ටිකක් ,මේ ඕනෑම තැනක් බස් එකේ ගිහින් බලන්න පුළුවන් ,නැත්නම් අලුතින් රේසින් කාර් එකක් අරගෙන බලන්න යන්නත් පුළුවන්.

01.නුපේ ලන්දේසි වෙළදපොළ [nupe dutch market]

මාතර නගරයට පිවිසෙන විටම නුපේ හන්දියේදී දකුණු අත පැත්තෙන් දකින්න පුළුවන් ,ලන්දේසි කාලයේ ගොඩනගපු වෙළදපොලක් දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා තියෙනවා.

02.මාතර තාරකා කොටුව [ star fort ]



ලන්දේසීන්ගේ කාලෙම ගොඩනංවන ලද්දකි ,මෙහි විශේෂත්වය තමයි තරුවක ආකාරයට ගොඩනංවා තිබීම ,දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර ඇත,මාතර ඉතිහාසය පිළිබද කෞතුකාගාරයක්ද පිහිටුවා ඇත .මාතර බෝධිය පහුකරපු ගමන් උයන්වත්ත පිට්ටනිය ලගම ඔබේ වම් අත පැත්තෙන් දකින්න පුළුවන් .

03.මාතර කොටුව [matara dutch fort ]


මාතර වෙරල තීරයටත් නිල්වලා ගඟටත් අතර පිහිටා ඇත,බීච් ඒකට යනවනම් ඒ ගමන්ම යන්න පුළුවන් ,ඒ ගමන්ම කොටුව ඇතුලේ පැරණි ගොඩනැගිලි බලන්න යන්නත් පුළුවන් ,රසට කෑම වේලක් ගන්නත් විවේකෙට ඉන්නත් පුළුවන් විදිහට දැන් මාතර තානායමත් නවීකරණය කරලා තියෙනවා ,


04.මාතර බෝධිය 

මාතර යනවනම් අනිවාර්යෙන්ම යන්න .

05.මාතර කතෝලික පල්ලිය [ st. mary's church ]


මාතර වෙරල මාවතේ පිහිටා ඇත ,ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ නොමද ගෞරවයට පත් ස්ථානයකි ,

06.පරෙවි දූපත සහ පාලම 


මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට වෙරළේ පිහිටා ඇත ,දැන් මෙහි රෝහණ පාර්ශ්ශවයේ පොහොය ගෙය පිහිටුවා ඇති බැවින් බලන්න යනවනම් විනීත ඇදුමකින් සැරසී යන්න ,නැත්නම් ආපසු හරවා එවාවි .

07.මාතර වෙරළ [ matara beach ]


හැන්දෑවකට යන්න කියාපු තැනක් ,නානවානම් පොල්හේන වෙරළට යන්න ඕන ,මාතර බස් ස්ටෑන්ඩ් ඒක ළග වෙරළ නෑමට සුදුසු නැ ,එතන දියවැලක් තියනවා ඒකට අහුවුනොත් රුහුණු කැම්පස් එක ලගින් ගොඩට එන්න පුළුවන් ,හැබැයි පණපිටින් නම් නෙමෙයි .

08.රුහුණු විශ්වවිද්‍යාලය [ ruhunu university]


මේක බලන්න යන්නනම් එක්කෝ විබාගේ හොදට පාස් වෙන්න වෙයි නැත්නම් විශේෂ අවසරයක් ගන්න වෙයි ,මාතර පහුකරලා කතරගම යනකොට ඔබේ වම් අත පැත්තෙන් දකින්න පුළුවන් ,

09.දෙවිනුවර ප්‍රදීපාගාරය [dondra light house ]


අපේ රටේ දකුණු කොන ,ලස්සන තැනක් ,දැන්නම් උඩට නගින්න දෙන්නේ නැහැ ,මේකේ විශේෂත්වය තමයි මේ ප්‍රදීපාගාරයට පස්සේ ලෝකේ දක්ෂිණ ද්‍රවයට යනකම් කිසිම ප්‍රදීපාගාරයක් දකින්න නැහැ ,බස් එකේ යනවනම් දෙවිනුවර දේවාලේ ගාව බැහැලා ත්‍රී වීල් එකකින් යන්න ,මං හිතන්නේ රුපියල් 100 ක විතර දුර 

10.දෙවිනුවර ශ්‍රී උපුල්වන් දේවාලය 


බොහොම අනුහස් ඇති තැනක් ,අනිව්වර්යේන්ම යන්න .මෙතෙන්ට යනවනම් තව පොඩි තැනක් තියෙනවා එතනටත් යන්න ,ඕන කෙනෙක්ගෙන් පාර ඇහුවම කියාවි ,


මෙතෙන්ට කියන්නේ "ගල් ගේ" කියලා ,පුරාන විෂ්ණු දේවාලය හැටියත් සලකනවා ,

11.වෙහෙරහේන විහාරය 


මාතර බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කැකනදුර බස් එකක යන්න ,එතකොට පන්සල ලගින්ම බහින්න පුළුවන් ,බුදු පිළිමය වන්දනා කරනවා වාගේම සිත්තම් ලෙන් විහාරය බලන්නත් යන්න ,ආ .. සල්ලි කන මල්ලි ඉන්නෙත් මේ පන්සලේ [ පින් කැටයක් එහෙම  යට ගහලා තිබුනා  ,දැන්නම් ඒක මකලද දන්නේ නැහැ ]

ඔන්න අද මං ගෙනාවේ මාතර නගරය අවට ඔහෙලට බස් එකේ උනත් ගිහින් බලන්න පුළුවන් තැන් ටිකක් ,ඉදිරියේදී මෙම තැන් ගැන සවිස්තරව විස්තර ගේන්නත් මං බලාපොරොත්තු වෙනවා ,

ගිහින් එන්නම් .

ප . ලි .කවුරුහරි පන පිටින් අපාය දැකලා තියෙනවාද ?මාතර එහෙම බලන්න පුළුවන් තැනක් තියෙනවා ,කියමුද බලන්න ,ඒ තැන ඇතුළුව තවත් වැදගත් තැන් ගැන විස්තර ඉදිරියේදී .....

Monday, November 12, 2012

මාතර අපි කාගේත් සුන්දරී - රුහුණු කුමාරි

මේක කියවන ඔහෙලා මාතරනම් ජීවිතේ එකපාරක් හරි රුහුණු කුමාරි එකේ ගිහින් ඇති ,ඒක ඒ තරම්ම මාතර ජනතාවගේ ජීවිතත් එක්ක බැදිලා තියෙන්නේ ,සමහර අය උදේට ඇහැරෙන්නෙත් රුහුණු කුමාරිගේ හූවට ,හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි ඩී බී රම්පාල මහතාගේ අදහසක් අනුව නම් පටබැදුනු රුහුණු කුමාරි මේ වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු දිගම දුම්රිය වෙනවා ,රුහුණු කුමාරි තමන්ගේ මංගල ගමන සිදුකරේ 1956 අප්‍රියෙල් මස 23 වෙනිදා උඩරට මැණිකේ සහ යාල් දේවි නම් ඇගේ සහෝදරියන් සමග එක්වයි ,මෙන්න ඒක ගැන පත්තරේ ගිය දැන්වීමක්



ඔන්න ඔය කාලේ මාතර ඉස්ටේසමේ පින්තුර ටිකකුත්


 



මාතර කොච්චි ඉස්ටේසම 

මාතර කොච්චි ඉස්ටේසම 


මාතර කොච්චි ඉස්ටේසම 

ඉස්සර උදේ 5.30 මාතරින් ගමන ආරම්බ කරපු කුමාරි කොටුවට එනකොට උදේ 9.45 විටර උනා ,මුල් කාලේ ඉදලම එන්ජිමක් මගින් ඇදගෙන ගිය කොච්චි පෙට්ටිවලින් සමන්විත් උණු මෙයා දැන් බලවේග කට්ටල දෙකක පිහිටෙන් ඉගිලෙනවා,නවීකරණ කරපු දුම්රිය පාරත් ඒකට උදවු වෙනවා ,දැන් මාතර ඉන්න කොළඹ වැඩකරන ගොඩදෙනෙක් ගෙදර ඉදලම වැඩට එනවා මේ නිසා,දැන් උදේ 6.05 ට මාතරින් පිටත්වෙන කුමාරි උදේ 8.45 වෙනකොට කොටුවට එනවා ,ඔන්න බලාගන්න දැන් කුමාරිගේ දිගේ තරම 




හැබැයි දැන් අපි පොඩි කාලේ ආසාවෙන් බලන හිටපු දෙයක් නම් තවදුරටත් දැන් පොඩි බබාලට දකින්න ලැබෙන්නේ නෑ,ඒ තමයි ගාල්ලේදී එන්ජිම ගලවලා හයිකරන ඒක ,දැන් ඉතින් දෙපැත්තටම එන්ජින් නිසා 
ඒක තවදුරටත් වලංගු නැහැ ,

අදට ඉතින් ඔච්චරයි ,අපේ යාලුවොන්ට රුහුණු කුමාරි සමග බැදුණු රසවත් මතකයන් ඇත්නම් සදහන්කරන මෙන් ඉල්ලා සිටිනවා ,

ගිහින් එන්නම්