Saturday, July 20, 2013

කාරුණික දැනුම්දීමයි ....

කාරුණික දැනුම්දීමයි ....

බ්ලොග් දෙකක් පවත්වාගෙන යාමේ අපහසුතා නිසාම මේ බ්ලොග් එක නොලියවෙන තැනට පත්වීම පිළිබද මගේ බලවත් කනගාටුව.ඒ නිසා මගේ ප්‍රධාන බ්ලොගය වන හසරැල්ලක් හි මාතර පිළිබද පොස්ට් පලවනවිට ඒවා සදහා අපේ ගම මාතර යනුවෙන් වෙනම page එකක් සකසා ඇත.

අපේ ගම මාතර පිටුවට මෙතනින් පිවිසෙන්න.

සිදුවූ අපහසුතාවයට බලවත් කනගාටුව.

Wednesday, December 26, 2012

අවුරුදු අටකට කලින් අද වගේ දවසක


2004 දෙසැම්බර් 26 

මාතර අපි වගේම මුළු රටම මුහුණදුන් අදුරු දවසක් ,එදා අපි කවදාවත් අහලා නොතිබුණු කවදාවත් දැකලා නොතිබුණු මහා විනාශකාරී සුනාමි දල රල පෙළ අපේ රට වෙලා ගත්ත දවස ,එදා ඉරිදා දවසක් ,ඒ වගේම පසලොසවක පෝය ,ඒ කාලේ සමහර දවස්වලට මාතර beach road  එක කොහොමත් මුහුදු රලවලින් වැහෙනවා ,ඒකනිසා එදා කොටුවේගොඩ ඉරිදා පොලට ආපු අය මුලින් ආපු පොඩි රළපහර ගනන්ගන්න නැතුව ඇති ,

කොහොමුනත් එදා ආපු දල රලපෙල අපගේ සමීපතමයන් රැසක් අපගෙන් වෙන්කළා .එදිනට පසු දින සිට සතියක් පමණ යනතෙක් මම සහ මගේ ගමේ යහළුවන් රැසක් සහනසේවාවල ස්වේච්චාවෙන් නියුතු උනා ,ඒ සතිය තුල අත්දුටු අත්දැකීම් මිනිසෙකුට තම මුළු ජීවිත කාලයතුලදීම සමහරවිට ලබාගන්න බැරිතරම් කියලා මට  හිතෙනවා .
මනුෂ්‍ය ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගැනීමට එවැනි අවස්ථාවක් මිනිසෙකුට තමන්ගේ ජීවිතයේදී නොලැබෙන්න පුළුවන් .

එදා සුනාමි රල පහරට ලංකාවේ දකුණු නැගෙනහිර සියලුම වෙරළාසන්න නගර විනාශ වුනත් මාතර නගරයේ කොටුවේගොඩ හැර නගරයේ අනෙත් කිසිදු පෙදෙසක් සුනාමි රල පහරට ගොදුරු වුනේ නැහැ ,ඒක ඔයාලට තේරුම්ගන්න ලේසිවෙන්න ඔන්න මම පහල පින්තුරය දානවා .
පැහැදිලි මදිනම් ටිකක් ලොකුකරලා බලන්නලා හොදේ.



මාතර නගරය හරහා ගලා යන නිල්වලා ගඟ තියෙන්නේ මාතර නගරයට වඩා ගොඩක් පහලින් ,ඒක නිසා මුහුද දෙසින් ආපු රල පහර කොටුවේගොඩ ප්‍රදේශය හරහා ඇවිත් කෙලින්ම නිල්වලා ගඟට වැටුනා ,එහෙම වැටුණු රල පහර ගඟ දිගේ ඉහලට සහ පහලට ගලාගෙන යාම් නිසා එහි රුදුරු බව අඩුවුනා ,ඒ වගේම ගඟ නගරයට වඩා පහලින් ඇතිනිසා මුහුදු රල ගඟෙන් මෙහාට ආවෙත් නැහැ .ඔන්න ඔහොමයි ගඟ නිසා මාතර නගරය බේරුනේ .

එදායින් අවුරුදු 8 ට පස්සේ අද වෙනකොට ගොඩක් දෙනෙකුට ගොඩක් දේවල් අමතකයි ,හැබැයි රටක් විදිහට අපේ රට ඉතිහාසයේ මුහුණදීපු ලොකුම ස්වබාවික විපතෙන් මේ තරම් ඉක්මනට නැගිටපු එක ගැන අපිට ශ්‍රී ලාංකිකයින් වශයෙන් සතුටුවෙන්න පුළුවන් .


මාතර සුනාමි ස්මාරකය 

මාතර අපි අතරින් වෙන්වුණු පිරිස වගේම පැරලියේදී සුනාමි දුම්රියේදී ජීවිත හැරදා ගිය අපේ සහෝදරයින් ,ඒ වගේම මේ විපතින් අපට අහිමිවුණු මුළු ශ්‍රී ලාංකික ජනතාවම සිහිකිරීම අපේ යුතුකමක් .හැබැයි ඒ අවුරුද්දකට සැරයක් දෙසැම්බර් 26 විතරක් නෙමෙයි .අපට පුළුවන් හැමවෙලාවකම .







Thursday, December 20, 2012

කෙටි විරාමයක්


මේ දිනවල වැඩ අධික කම නිසාම එක පොස්ට් එකක්වත් දාන්න බැරි උනා ,බාගෙට ලියූ පොස්ට් දෙක තුනක්ම තිබුනත් එකක්වත් පළකරගන්න බැරි උනා ,

මේ පොස්ට් එක දාන්නේ බ්ලොග් එක අතහැර නැති බවත් ඉසිබුවක්‌ ලද විගස මාතර පිළිබද තව තවත් විස්තර ගෙන එන බවත් ඔබට දන්වන්නටයි .

ගෙහුං එන්නං 

Friday, November 30, 2012

අලුත් මාතර

ඔන්න කාලෙකට පස්සේ අද ගමේ ගියා ,ඒ යන ගමන් අලුත් උනු මාතර නගරේ ෆොටෝ කෑලි ටිකකුත් ගත්තා ,බයිසිකලේ යන ගමන් නිසාත් හවස නිසාත් ෆොටෝ වල පැහැදිලි කම මදි ,ඒ ගැන කමා කරත්වා ,දේශ දීපන්කරවල ඉන්න අපේ ඇත්තන්ට බලාගන්නත් එක්ක තමයි මේ ටික දාන්නේ .




නුපේ හන්දිය 


බ්‍රෝඩ්වේ පාර 


තේක්ක ගහ ගාව 
(@ සයුරි  - තේක්ක ගහනම් කපලා ඔන්න )


යෝදයගේ බයිසිකලේ 


 මහානාම පාලම 


මහානාම පාලම


මේක දැක්කගමන් මතක් උනේ මොකක්ද ?


මේක නේද?මේ නම් මාතර නෙමෙයි ,


මේ නම් මාතර වෙරල උද්‍යානය 


පරෙවි දූවේ පාලම 


පරෙවි දූව 


මාතර වෙරල උද්‍යානය 


වීදි ලාම්පු 


සුනාමි ස්මාරකය 


බ්‍රෝඩ්වේ ෆිල්ම් හෝල් එක (දැන්නම් කාර්ගිල්ස් එක වෙලා )

ගෙහුං එන්නං 

Saturday, November 17, 2012

පාන්දරින් ඉස්කෝලෙට බක්කි කරත්තෙන්



අද මං කියන්න යන්නේ මාතර අපි කාටත් හුරුපුරුදු දසුනක් වෙලා තිබිච්ච දැන් බේතකටවත් හොයාගන්න නැති බක්කි කරත්ත ගැනයි ,අපි පොඩි කාලේ නගරේ ඉස්කෝල ළග උදේටයි දවල්ටයි දකින්න තිබුණු සුලබ දසුනක් වන බක්කි කරත්ත දැන් සමාජයෙන් සැගවිලා ගිහින්

යටත් විජිත යුගයේදී මාතර ඇරබුනු රාහුල ,සුජාතා ,ශාන්ත තෝමස් ,ශාන්ත සෙර්වේසස්,මාතර කන්‍යාරාමය වගේම ඉන් පසුකාලීනව ඇතිවුණු මධ්‍ය මහා විදුහල ,මහාමායා විදුහල වැනි පාසල් වලටත් ළමුන් ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් අනුව දශකයේ මැදක් වනතුරුම මෙම බක්කි කරත්ත පැවතුනා ,

බොහෝ දුරට මෙම බක්කි කරත්ත ළමුන් බාරගත්තේ එක පාසලකට එන ළමුන් පමණයි ,මොකද පාසල් දෙකක් අතර යාමට වැයවන කාලය වැඩි නිසා ,ඒත් රාහුල ,සුජාතා පාසල් එකිනෙක ළග පිහිටා තිබීම නිසා එම පාසල්වල සිසුන් එකම බක්කි කරත්තවල ගෙනගොස් අරලීමටත් බාරගනු  ලැබුවා ,

විශේෂයෙන්ම මෙලෙස බාරගත්තේ ප්‍රාථමික පන්තිවල සිසුන් වූ අතර එයට හේතු වන්නට ඇත්තේ බක්කි කරත්තයේ තිබුණු කුඩා ඉඩකඩ ඇතුලත ගෙනයාහැකි උපරිම ප්‍රමාණයක් ගෙන යාම වියහැකියි ,එමෙන්ම ඉහල පන්තිවල සිසුන් බක්කි කරත්තෙන් පාසල් යෑමට දැක්වූ අකමැත්තත් වියහැකියි ,

මෙලෙස ගෙවල් වලින් බාරගත් සිසුන් පාසැල ලගට ඇරලීමට යාමේදී සමහර බක්කි කරත්ත රියදුරන් එම ළමුන්ගේ පාසල් බෑග,වතුර බෝතල් පන්තියටම ගෙනගොස් දෙනවා ,පාසැල ඇරෙන වෙලාවට ගේට්ටුව ගාව ඉදගෙන තමන්ගේ ළමුන් එකතු කරන බක්කි කරත්ත රියදුරන් දකින්නට හැකියි ,

ළමුන් පාසලට ඇරලු පසු තමන්ගේ බක්කි කරත්තයේ බැද සිටින ගොනාට ආහාර සැපයීමටත් එකිනෙකා සමග සතුටු සාමීචියේ යෙදීමටත් 
බක්කි කරත්ත රියදුරන් තෝරාගත් තැන් තිබුනා ,මාතර රාහුල පාර ,ඉසදීන් නගරය අවට එවැනි තැන් කීපයක් ,මේ බක්කි කරත්ත අතර ලස්සන ලෙස සරසා තිබු බක්කි කරත්තත් තිබුනා , ඒ විතරක්ද සමහර ඒවායේ පොඩි රේඩියෝවක් පවා තිබුනා ,

අනුව දශකයේ අග බාගයේ ඇතිවූ වාහන තදබදයේ ඉහල යාමත් ,සිසුන් බක්කි කරත්තවල යෑමට දැක්වූ මැලිකමත් මේ ඔක්කොටම වඩා ඉහල ගිය පාසල් වෑන් ගණනත් නිසා කෙමෙන් කෙමෙන් මේ බක්කි කරත්ත සමාජයෙන් තුරන් වෙලා ගියා ,දැන් ඉතින් ළමයෙකුට බක්කි කරත්තයක් දකින්න තියෙන්නේ රූපෙකින් හරි කෞතුකාගාරෙකින් හරි විතරයි ,

චායාරූප ගත්තේ - http://lankapura.com

Thursday, November 15, 2012

මාතර බත් කඩේ


අදනම් ටිකක් වෙනස් මාතෘකාවක් ,මාතර බත් කඩයක් දැකලා නැත්තේ කවුද ?කවුරුත් වගේ දැකලා ඇතිනේ , අර කවුද කියන්න වගේ හඳට යනකොට එහෙත් එකක් දාල තිබුනයි කියනවනේ  ,හැබැයි කොහේ තිබුනත් මාතර බත් කඩයක් නැති එක ටවුමක් නම් මේ ලංකාවේ තියෙනවා මං දන්නා තරමින් ,කියමුද බලන්න .........

දන්නැත්නම් දැනගන්න ඒ තමයි මාතර .....ඇත්තයි සත්තයි 

ඇත්තටම රටපුරා මාතර බත් කඩ ඇතිවීමේ ප්‍රවනතාවය ඇතිවුනේ කොහොමද කියලා අපි හොයලා බැලුවොත් ඒකට හේතු උනේ පහත හේතුවයි කියලා මං හිතනවා ,

මාතර උපන් පුද්ගලයින් රැකියාවල් සොයාගෙන යාම නිසා රට පුරා පැතිරුනා ,ඉතින් මෙහෙම ගමින් පිට උණු අය ඇරඹු කෑම කඩ වල ඔවුන් බොහෝවිට පිළිගැන්වූයේ තම ගම් ප්‍රදේශයේ කෑම වගේම ගමේ පිළිවෙලට සැකසු කෑම වර්ගයි,මොකද බොහෝ වෙලාවට මේ කෑම පිළියෙළ කලේ කඩේ මුදලාලිගේ මාය්යා නිසයි ,ඉතින් මෙහෙම කඩ ඔය බෝඩ් ලෑලි නොගැහව්වට නිකම්ම "මාතර බත් කඩ" උනා ,

මේ මාතර බත් කඩවල තිබුණු කෑම මොනවද ...

අනිවාර්යෙන්ම මේවා නම් තිබුනා 


රතු කැකුළු බත 


මාළු ඇඹුල්තියල් 

පොලොස්

පොල් සම්බල

දැන්නම් රට පුරා මාතර බත් කඩ , ඒ වුනාට ඒවා කීයෙන් කීයද නියම මාතර බත් කඩ වෙන්නේ ,

ගිහින් එන්නම් ,

ප ලි : අදනම් සුදානම් වෙලා දාපු පොස්ට් එකක් නෙමේ ,අඩු පාඩු ඇතොත් කමා කරනු මැනවි


Wednesday, November 14, 2012

සුල්තානගොඩ කළු මහත්තයා - මාතරින් ලොව ජයගත් අපේ හපන්නු 02

මාතෘකාව දැක්ක ගමන් කාටවත් ක්ලික් වෙන්න නැතුව ඇති මං අද මේ කවුරු ගැන කියන්න යනවද කියලා ,අද මං කියන්න යන්නේ සුල්තානගොඩ කළු මහත්තයා නොහොත් හේවා කොමනගේ ධර්මදාස මහත්තයා ගැනයි ,ම්හු .. ඒත් මතක වෙන්නේ නෑ නේද ? එහෙනම් මෙහෙම කියමු ,එච් .කේ .ධර්මදාස නොහොත් " නවලෝක මුදලාලි ",ආ.... දැන්නම් කවුරුත් දන්නවා නේද ,හරි හරි දැන් ඔය ඇරිලා තියෙන කට වහගෙන ඉතුරු ටික කියෝමු .



මේ ඉන්නේ අපේ කාලයේ චුල්ල සෙට්ටි සිටුතුමා කිව්වොත් වැරදි නැහැ 

1920 ජුනි මස 20 වෙනිදින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලයි ,ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මෙතුමා පසුකාලීනව කෙතරම් ඉහලට ගියත් එම ගැමිසුවදනම් අමතක කලේ නෑ ,




සුල්තානගොඩ නිවස වර්තමාන ස්වරූපය 

කළු මහත්තයාට වයස 13 ක් වෙනකොට සිද්ද උණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය වෙනවා ,පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇදුම් කඩමාලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා ,

කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සදලන්කාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා ,නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා ,

මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හදුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට ,එහිදී ඔහු තමන්ගේ වෙළදාම ඇරඹීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්‍රදේශයයි ,පසුකාලේයෙදී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියලුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි ,

මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරාගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි ,මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා ,



විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ ,කළු මහත්තයා තමන්ගේ තේ , පොල් , රබර් වෙළදාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා ,මේ කාලෙදී තමන්ගේ වෙළදාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙලදාමටත් අත තබනවා ,කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ  ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකග නොවන නිසයි ,මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය "නවලෝක" නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා ,

මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවුර්ත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා , එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා ,

විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු  සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්‍යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ද කරගන්නවා ,හැබැයි ඒ ඉහලම තැනින් නම් නෙමෙයි ,පහලම තැන ඉදලා ඉහලට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා ,




පහේ පන්තිය දක්වා පමණක් අද්‍යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහලට නැග්ග ආකාරය පුදුම සහගතයි ,පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු උණු කරුණු දැක්වුවා ,එනම් මුල අමතක නොකිරීම, "නෑ" , "බෑ" උත්තර ලෙස බාරනොගැනීම,ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම ,අපතේ යාම නැවතීම සහ අද කලයුතුදේ අදම කිරීමයි ,

අදවනවිට ලංකාවේ ලොකුම සමුහ ව්‍යාපාරයක් වන නවලෝක ව්‍යාපාරයේ කටයුතු තමන්ගේ අවසන් කාලය දක්වාම තමන් යටතේ පවත්වාගත් මෙතුමා සාම දිනකම උදෑසන 10.15 සිට හවස 5.00 වනතෙක් තමන්ගේ කාර්යාලයේ රැදී සිටියා ,නැගී එන ව්‍යාපාරිකයින්ට කළමනාකරණ පොත් දහසකින්වත් ලබාගත නොහැකි ගුණාංග මෙතුමාගේ ජීවිතය අද්යයනය කිරීමෙන් ලබාගත හැකියි ,

දේශමාන්‍ය ගරු නාමයෙන් පුද ලද මෙතුමා 2011 අගෝස්තු මස 10 වෙනිදා දැයෙන් සමුගත්තා ,